ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉඩම් හා රණවිරු සුබසාධන අමාත්‍ය
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල හා ඒ ජයග්‍රහණය උදෙසා සිදුකළ කැපකිරීමත්, මහ මැතිවරණය හා එයට සමගාමීව විපක්ෂයේ ක්‍රියාකාරිත්වය, අද වන විට රටේ සිදුවන සංවර්ධනය ත් පිළිබඳ අදහස් දක්මින් අද සංවාදයට එක්වන්නේ ඉඩම් සහ රණවිරු සුබසාධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා යි.
ඔබ පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළ අවදියේ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කැපවීමක් කළා. ඔබට මේ තරම් පැහැදීමක් ජනාධිපතිවරයා කෙරෙහි ඇති වුණේ කොහොමද?
මම අවුරුදු 25 ක් පමණ එක්සත් ජාතික පක්ෂයේ කටයුතු කළා. පක්ෂය වෙනුවෙන් විශාල කැපවීමක් කළා. නමුත් එහි නායකත්වය කිසිම ආකාරයකින් තරුණ අපට ඉදිරියට එන්න ඉඩ දුන්නේ නැහැ. අපේ අදහස් පිළිගත්තේ නැහැ. දක්ෂකම් දැක දැක ඒවා නොදැක්කා වගේ කටයුතු කළා.
විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ හිතවත් මන්ත්‍රීවරුන්ට එක හැන්දකින් සහ සෙසු මන්ත්‍රීවරුන්ට තවත් හැන්දකින් තමයි බෙදුවේ. ඒ තත්ත්වයට එරෙහිව විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරු කටයුතු කරනවිට ඔවුන් නොසලකා හැරීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. මා පක්ෂයෙන් ඉවත්වීමට තීරණය කළේ ඒ නිසයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර වෙනස බලන්න. ජනාධිපතිතුමා පක්ෂයේ සෑම කෙනෙකුටම ආදරෙයි. ඔවුන්ට හොඳට සලකනවා. දුර්වලකම් ඇති මන්ත්‍රීවරුන්ට ඒවා සකස් කර ගැනීමට උපදෙස් දෙනවා. කිසිම කෙනෙකුට එක එක විදිහට සලකන්නේ නැහැ.
විපක්ෂයේ සිට එතුමාට එකතු වූ මන්ත්‍රීවරුන්ටත් ඒ පක්ෂයේ සිටි අයටත් සමානව සලකනවා. එපමණක් නොවේ අද මේ රටේ තරුණ පරම්පරාවට සමාජයේ ඉදිරියට යාමට සුදුසු මාර්ගය තනාදෙන එතුමා මෙවර මහ මැතිවරණයේදී තරුණ පිරිසට විශේෂ තැනක් දී ඉදිරියට ගෙන තිබෙනවා.
එතුමා වෙනුවට එතුමාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා හම්බන්තොටින් තරග කිරීමට පත්කළා පමණක් නොවෙයි සනත් ජයසූරිය, සුසන්තිකා ජයසිංහ වැනි දක්ෂයන්ටත් කලාකරුවන්ටත් ඔවුන් ගේ හැකියාවන් ඔපමට්ටම් කර ගනිමින් රටට සේවයක් කළ හැකි මාර්ගයක් සකස් කර තිබෙනවා. එසේ තරුණ පිරිසට අත දුන්නයි කියා පක්ෂයේ පරණ සාමාජිකයන්ට වෙනසක් කර නැති බව අද මේ රටේ ජනතාවට දකින්න පුළුවන්.
විපක්ෂයේ ඡන්ද පෙත්සම ගැන ඔබ අදහස් කරන්නේ කුමක්ද?
පසුගිය කාලේ පැවැති මැතිවරණ දහ අටකින් පමණ විපක්ෂය පරාජයට පත්වුණා. මේ සෑම අවස්ථාවක ම විපක්ෂය ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කරනවා. මේ ඡන්ද පෙත්සමත් ඒ වගේ ම දෙයක් පමණයි. මේ ඡන්ද පෙත්සම ගැන එතරම් දුරට හිතන්න අපට අවශ්‍ය නැහැ. මුලදී කම්පියුටර් ජිල්මාට් ගැන චෝදනා එල්ල කළ විපක්ෂය කෝ ඒ පිළිබඳ ව ඡන්ද පෙත්සමේ ගොනු කරලා තිබෙනවාද? ඒවා නිකම් පදනමක් නැති අභූත බොරු චෝදනා, කටකතා පමණයි. මේවා ඇත්තට ම අපට වැඩක් නැහැ.
ජනාධිපතිතුමා මෙවර ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද ලක්ෂ 18 ක් ලබා ගනිමින්. එය ඉතිහාසගත ජයග්‍රහණයක්. අප බලාපොරොත්තු වුණා එතුමාට ඒ වගේ විශිෂ්ට ජයග්‍රහණයක් මේ රටේ ජනතාව ලබාදෙන බව. ජනාධිපතිතුමා මේ රටට වසර හතරක් තුළ සිදුකර තිබූ සේවය පිළිබඳ ව ජනතාව සිටියේ දැඩි පැහැදීමකින්. එතුමා ගේ නායකත්වය අහිමි කර ගන්න රටේ ජනතාව කවදාවත් කැමති නැහැ.
ජනාධිපතිතුමා රට වෙනුවෙන් කරගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ ගැන ඔබගේ අදහස් ?
මේ රටේ දශක තුනක් යුද්ධය තිබුණා. ත්‍රස්තවාදය අවසන් වනතෙක් රට සංවර්ධනය කරන්න බැහැ කියමින් හිටපු නායකයන් රටේ සල්ලි කෑවා. යුද්ධය අවසන් කළේත් නැහැ. රට සංවර්ධනය කළේත් නැහැ. යුද්ධය තුළින් වවාගෙන කෑවා. කොටියාට පෝෂණය වෙන්න ඉඩ දුන්නා. කොටියා ආරක්ෂා කළා. නමුත් නැඟෙනහිර උතුරු මානුෂීය මෙහෙයුම සිදුවන අතරතුර ජනාධිපතිතුමා ඒ කර්තව්‍යය සිදුවීමට පමණක් ඉඩ නොතබා රටේ සංවර්ධනයත් සිදුකළා.
ඒ ක්‍රියා කලාපය විශ්මය ජනකයි. යුද්ධයක් අවසන් වූ වහාම රටක් සංවර්ධන කරන්න රටකට හැකියාවක් නැහැ. නමුත් නැඟෙනහිර අත්පත් කර අවසන් වන විට ම ඒ පළාත්වල සංවර්ධනය සිදුවුණා. යුද්ධය අවසන් වනවිට එම පළාත්වල සංවර්ධනයත් අවසන් වෙමින් පවතිනවා. ලෝක නායකයන් අද පුදුමයට පත්ව සිටින්නේ එතුමා ගේ ඒ ක්‍රමවත් වැඩපිළිවෙළ නිසයි. වසර තිහක් ඡන්දය අහිමි වී සිටි උතුරු නැඟෙනහිර ජනතාව අද ඡන්දයේ හිමිකරුවන් වෙලා. උතුරෙන් නැඟෙනහිරින් වෙඩි හඬ බෝම්බ හඬ මරබිය සදහටම නැතිවෙලා. රටපුරා සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා.
මේ රටේ දියුණුව නැති කිරීමට කටයුතු කරන ජාත්‍යන්තර කුමන්ත්‍රණ පිළිබඳ කතාබහට ලක්වෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමන්ද?
රටකට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන්නේ රටේ යම් කණ්ඩායම්වල සහයෝගය ඇතිවයි. ජනාධිපතිතුමා ත්‍රස්තවාදය පරාජය කිරීමට සූදානම් වන අවස්ථාවේ එය වළක්වාලීමට විපක්ෂය ඇතුළු කණ්ඩායම් ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන් සමඟ එකතුවී කටයුතු කළා. ජනාධිපතිතුමා ඒ සියලු බලවේග හමුවේ නොසැලී තම අරමුණ ජයගන්නා තෙක් ම ඉදිරියට ම ගෙන ගියා.
මේ කුමන්ත්‍රණවලට සහයෝගය දුන්නේ කොටි හිතවාදී බලවත් රටවල්. එම සංවිධාන ඒවායින් එල්ලවූ පීඩනය වෙනත් නායකයෙකුට එල්ල වූවා නම් මේ යුද්ධය අද මේ ආකාරයෙන් ජයග්‍රහණය කළ නොහැකියි. නමුත් ජනාධිපතිතුමා සතුවූ දක්ෂකම, කැපවීම, නිවැරදි නායකත්වය තුළින් ත්‍රස්තවාදය සදහට ම පරාජය වුණා.
නමුත් තවමත් ඒ එල්ල වූ කුමන්ත්‍රණ නැවතී නැහැ. ජනාධිපතිතුමා නැවත ජනාධිපතිවීම වළක්වා නැවත ත්‍රස්තවාදයට හිස එසවීමට අවස්ථාව ලබා දීමට කුමන්ත්‍රණකරුවන් කටයුතු කළා. ජනරාල් ෆොන්සේකා විපක්ෂයට සහ ජවිපෙට එකතුකර ගත්තේ ජාත්‍යන්තර බලවේගවල කුමන්ත්‍රණ සඳහා යොදවා ගැනීමට යි.
ජෙනරාල් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම ඔබ දකින්නේ කෙසේද?
ජෙනරාල් ෆොන්සේකා බෝම්බ ප්‍රහාරයට ලක්වී රෝහල්ගත කළ අවස්ථාවේ ඔහුගේ අවසානය දකින්නට සතුටින් බලාපොරොත්තු වූ පුද්ගලයෙක් තමයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා. මා එවකට විපක්ෂයේ සිටිය දී රනිල් වික්‍රමසිංහ මහතා කීප වරක් ම මට කීවා සරත් ෆොන්සේකාගේ තත්ත්වය කොහොමද? ඔහු නැතිවෙලා ද? කියලා බලන්න කියලා. එහෙම කළ කෙනෙක් සමඟයි ජෙනරාල් ෆොන්සේකා දේශපාලනයට එකතු වුණේ.
හමුදාපතිවරයා හමුදාපති ධුරයට නොවෙයි ගැලවීමේ හමුදාවටත් සුදුසු නැති බව ඔවුන් ප්‍රකාශ කළා. ත්‍රස්තවාදය අවසන් කර මේ රටට සාමය උදාවනු දැකීමට අකමැති වූ විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යැවීමට කුමන්ත්‍රණය කළා. එහිදී ජෙනරාල් ෆොන්සේකා පොදු අපේක්ෂකයකු ලෙස යොදා ගත්තා.
අලියා වෙනුවට හංසයා ගෙනාවා. විපක්ෂයේ මන්ත්‍රීවරු වැඩි දෙනෙක් ඊට එකඟ වුණානම් ඒ වෙනත් කළ හැකි දෙයක් නොමැති නිසයි. කෙසේ වුණත් ජෙනරාල් ෆොන්සේකා රනිල්ගේ සහ ජ.වි.පෙ. ගැටයට හසුවුණා. ඔහු හමුදා නායකයා ලෙස විශ්‍රාම ගොස් හොඳින් ඉන්න තිබූ තත්ත්වය ඔවුන් නැති කළා පමණක් නොවෙයි ෆොන්සේකා සඟවාගෙන තිබූ ඔහුගේ පවුලේ වත්කම් පවා එළියට ආවා.
මේ රටේ යුද හමුදාවේ නීතිය, කාටත් එකයි. ගමේ ජේමිස් අයියා ගේ හමුදාවේ සිටින පුතා වැරැද්දක් කළත් හමුදාපතිවරයා වැරැද්දක් කළත් හමුදා නීතියට අනුව දඬුවම එකයි. ජෙනරාල් සරත් ෆොන්සේකා රණවිරුවන් කළ කී දේවල් ලෝකයා ඉදිරියට දමලා මේ රටේ රණවිරුවන්ට අපහාස කිරීමට උත්සාහ කළා. ඔහුගේ ඒ සැලසුම මාධ්‍ය මඟින්් හෙළිකළා. ඡන්ද රැස්වීම්වලදී හෙළි කළා.
ඔහු දේශපාලනයට පැමිණ තිබුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඇතිකරගත් ද්වේශයකින් ෙවෛරයකින්. ඒ වෛරය තුළින් ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා දරුණු හිරිහැර පීඩාවලට පත්කිරීමට ඔහු නො ඉවසිල්ලෙන් බලාහිටියා. නමුත් ජනාධිපතිතුමා වගේ නායකයෙකුට නියපිටින් හානියක් කිරීමට මේ රටේ ජනතාව ඉඩ තැබුවේ නැහැ.
අපි විපක්ෂයේ සිටිය කාලේ දන්නවා ෆොන්සේකා මහතා බෝම්බයට හසුවූ වෙලාවේ ඔහුව බේරා ගැනීමට ජනාධිපතිතුමා මොනතරම් දේවල් කළාද කියලා. විදේශ රටවල විශේෂඥ වෛද්‍ය සේවය පවා ලබා දුන්නා. එපමණක් නොවේ ජනාධිපතිතුමා එතුමාගේ ආර්යාව පවා ජෙනරාල් ෆොන්සේකා වෙනුවෙන් බෝධි පූජා පවා පැවැත්වූවා. විශාල ආරක්ෂාවක් ලබා දුන්නා.
ඔහු ඉල්ලන දේ මොකක්ද ඒ සෑම දෙයක්ම ලබා දුන්නා. එසේ කළ නායකයෙකුට ජනරාල් ෆොන්සේකා කෙළෙහිගුණ සැළකූ ආකාරයද ඒ. ජනාධිපතිතුමා ගේ හිතේ සංවේදීකම නිසාම ෆොන්සේකා දේශපාලනයට යන බව කියූ අවස්ථාවේ පැවසුවා දේශපාලනයට ගිහින් ප්‍රශ්නයක් ඇතිවුවහොත් “සරත් එන්න මම ඔබට පිහිට වෙන්නම් කීවා.
නමුත් ජෙනරාල් ෆොන්සේකා අදත් ජනාධිපතිතුමාට වෛර කරනවා. නමුත් ජනාධිපතිතුමා ඔහුට අනුකම්පා කරනවා. ඔහුව අත්අඩංගුවට ගත්තේ යුද හමුදා නීතියට අනුව යි. එහෙම නැතිව රනිල් වික්‍රමසිංහ තරම්වත් ඡන්ද ලබා නොගත්ත දවස් 40ක දේශපාලන අත්දැකීමක් ඇති පුද්ගලයෙක් අත්අඩංගුවට අරගෙන සිර කරන්නට තරම් පිස්සුවක් රජයට නැහැ. ඒත් අපිට එක කනගාටුවකට තියෙන්නේ මේ කරුණු කාරණා හරිහැටි තේරුම් නොගෙන විපක්ෂ දේශපාලනඥයන් ගේ බොරු තොරතුරුවලට රැවටී සමාජයේ සුළු පිරිසක් වැරැදි ලෙස කටයුතු කිරීම පිළිබඳ ව යි.
ඒත් රටේ ජනතාව තේරුම් ගනීවි මේ රටේ පූජ්‍ය පක්ෂයට ආගම් භේදයක් නොමැතිව සැළකූ එකම රාජ්‍ය නායකයා ජනාධිපතිතුමා බව, වෙහෙර විහාර, කතෝලික පල්ලි, මුස්ලිම් පල්ලි, කෝවිල් මේ හැම පූජනීය ස්ථානයක්ම දියුණු කිරීමට ජනාධිපතිතුමා විශාල කැපවීමක් කළා. කෙළෙහිගුණ නොදන්නා පුද්ගලයකු වෙනුවෙන් පෙනී නොසිට සංවේදී නායකයා සමඟ එකතුවී රටේ ඉදිරි අනාගතය සුරක්ෂිත කර ගැනීමට ඉතා සාමකාමීව කටයුතු කිරීම ගුණගරුක ජනතාවගේ යුතුකම බව තේරුම්ගත යුතුයි.
රණවිරු සුබසාධන ඇමැතිවරයා වශයෙන් ඔවුන් වෙනුවෙන් ඉදිරියේ දී සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ මොනවාද?
මේ රටේ ආරක්ෂකයා රට බේරා ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවූ රණවිරුවන් වෙනුවෙන් ජනාධිපතිතුමා ප්‍රමුඛත්වයක් දී කටයුතු කරන බව සෑම කෙනකු ම දන්නා දෙයක්. සමාජයේ සෑම කෙනකු ගේ ම ගෞරවාදරයට එක්වන අයකු බවට පත්වෙන රණවිරුවන් වෙනුවෙන් ජනාධිපතිතුමා මේ වනවිට බොහෝ දේ සිදුකර හමාරයි.
ඔවුන් වෙනුවෙන් නිවාස, ගම්මාන, ප්‍රවාහන පහසුකම්, ණය ලබා ගැනීම්, වැටුප් වැඩිකිරීම්, දූ දරුවන්ට ශිෂ්‍යත්ව, රණවිරු පාසල්, මියගිය රණවිරු පවුල් සුබසාධනය ඇතුළු බොහෝ දේ සිදුකර තිබෙනවා. එපමණක් නොවෙයි ඔවුන් වෙනුවෙන් දීර්ඝකාලීනව සුබසාධන වැඩපිළිවෙළවල් රැසක් ක්‍රියාත්මක කර තිබෙන අතර ඉදිරියේදී තවත් සැලසුම් රාශියක් සිදුකිරීමට සූදානම්ව සිටින බව කිව යුතුයි.
ඉදිරි මහා මැතිවරණයේ දී ජනතාව ඡන්දයට කුමන ආකාරයකට ප්‍රතිචාර දක්වයිද?
මහජනතාවගෙන් වැඩි ඡන්ද ලක්ෂ 18ක් ගත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. එවැනි නායකයකු යටතේ ක්‍රියා කරන දේශපාලන නියෝජිතයන්ට රටේ ජනතාව දිය හැකි හොඳම පිළිතුර ලබන අප්‍රේල් 8 වැනිදාට දේවි. එක්සත් ජාතික පක්ෂයේ සහ ජ.වි.පෙත් අවසානය බොහෝදුරට සිදුවේවි.
ඔබ නිකවැරටිය ප්‍රදේශයෙන් මහ ඡන්දයට ඉදිරිපත් වීම ගැන අදහස් කරන්නෙ මොකක්ද?
නිකවැරටිය, කුරුණෑගල, මාවතගම කියල වෙනසක් නැහැ. කුරුණෑගල දිස්ත්‍රික් ජනතාව මට බොහොම ආදරෙයි. ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රශ්නවලට මා මැදිහත් වී කටයුතු කළා. ගමේ ජනතාව අමතක කර සිට ඡන්දය ළං වෙනවිට ඔවුන් අතරට ගිය දේශපාලනයක් නොවෙයි මම, ගමේ හැම කෙනෙකුගේම දුකට සැපට මා පිහිට වෙනවා. විශේෂයෙන් එක්සත් ජනතා නිදහස් සංධානයේ ජනතාව කියල විපක්ෂයේ සිටිය කාලෙදිවත් මම ඔවුන් අමතක කළේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ, ජනතාව දන්නවා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment